දියවැඩියාවෙන් තොර ශ්‍රී ලංකාවකට ජාතික වැඩසටහනක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඇරඹුණු “දියවැඩියාවෙන් තොර ශ්‍රී ලංකාවක්” ජාතික වැඩසටහන යටතේ රටේ ජනතාව හා අනාගත පරම්පරාව දියවැඩියාවට ගොදුරු වීමෙන් වළක්වා ගැනීම අරමුණු කොටගත් වැඩසටහන් රැසක් දියත් කර ඇතැයි ද සභාපතිවරයා පවසයි.
දියවැඩියාව සහ හෝර්මෝන ආශ්‍රිත රෝග වළක්වා ගැනීම සහ පාලනය සඳහා අවශ්‍ය නව දැනුම, ප්‍රතිකාර ක්‍රම හා සහයෝගය ලබා දීමට වෛද්‍යවරුන්, හෙද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීම, බලගැන්වීම සහ තාක්ෂණික සහයෝගය ලබාදීම සංගමයෙන් ඉටු කැරේ.
රටේ සෑම දියවැඩියා රෝගියකුට ම සමාන මට්ටමේ උසස් හා ගුණාත්මක ඖෂධ හා සේවා ලබා ගැනීමට අවකාශ සලසා දීමට සංගමය කටයුතු කරයි.
ගතවන සෑම තත්පරයක් පාසාම ලොව කොතැනක හෝ දියවැඩියාව හේතුවෙන් පුද්ගලයකු මරණයට පත්වේ. 2014 වසරේදී ලෝකය පුරා දියවැඩියාවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව මිලියන 4.9කි.
අපේ රටේ වත්මන් ජනගහනයෙන් වයස අවුරුදු 50ට ඉහළ පුද්ගලයන්ගෙන් හරි අඩකට වඩා දියවැඩියාවෙන් පෙළෙති. ළමයින් දියවැඩියාවට ගොදුරු වීමේ අවදානම ශීඝ්‍රයෙන් ඉහළ යයි. පළමු ගණයේ දියවැඩියාවට ගොදුරු වූ ළමයින් සංඛ්‍යාව 200 ඉක්මවයි. මේ අනුව ළමා පරපුර හා ජනතාව දියවැඩියාවට ගොදුරු වීමේ අවදානම වළක්වා ගැනීම සඳහා කඩිනම් ජාතික වැඩසටහනක් දියත් කරන ලද අතර එය සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ආහාර හා පෝෂණ අමාත්‍යාංශය හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඇතුළු අදාළ අමාත්‍යාංශ සියල්ලෙහිම සහභාගීත්වයෙන් ක්‍රියාවට නැංවෙයි.
ඉකුත් 14 වැනිදාට යෙදුණු ලෝක දියවැඩියා දිනය සමරමින් ඊයේ (14) කොළඹදී ජනාධිපතිතුමාගේ හා සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් දියවැඩියාව වැළැක්වීමේ පාගමනක් පැවැත්විණි. ඊට සමගාමීව දෙස් විදෙස් විශේෂඥ හා ප්‍රවීණ වෛද්‍යවරුන් 600කට අධික පිරිසක සහභාගීත්වයෙන් යුතු අන්තර්ජාතික දියවැඩියා සම්මන්ත්‍රණයක් ද පැවැත්විණි.
ළමා වියේ සිටම අධික සීනි, පිටි, තෙල් සහ ලුණු අධික ආහාර පරිභෝජනයෙන් වැළකී සිටීමට ළමා පරපුර දැනුවත් කිරීම හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට දරුවන් යොමු කිරීමේ අරමුණ ඇතිව දීප ව්‍යාප්ත පාසල් චිත්‍ර රචනා සහ පෝස්ටර් තරගයක් පැවැත්වීමට සංගමය කටයුතු යොදා තිබේ. එය නොවැම්බර් මස 21වැනිදා ඇරැඹීමට නියමිතය.
2016 ජනවාරි මාසයේ පටන් දිවයිනේ සෑම පර්යන්ත හා ග්‍රාමීය රෝහල්වලින් 60%ක්ම දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර, රුධිර පරීක්ෂණ සහ උපදේශන සේවා ලබා ගත හැකි දියවැඩියා සුවතා ඒකක පහසුකම් සපයා දීමට ද සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කරයි. වසර 2019 වන විට දිවයිනේ පවතින රෝහල් 1100 සඳහා ම දියවැඩියා රෝගීන් සඳහා සුවතා ඒකක පිහිටුවීම සංගමයේ ඉලක්කය වී තිබේ. රටේ සෑම දියවැඩියා රෝගියකුටම සමාන මට්ටමේ ප්‍රතිකාර සහ සේවාවක් ලබා දීම මෙහි අරමුණ බව වෛද්‍ය බුලුගහපිටිය මහතා පවසයි.
“ශ්‍රී ලංකා දියවැඩියා මව් සංගමය යටතේ දියත් කැරෙන දියවැඩියාවෙන් තොර ශ්‍රී ලංකාවක්” නම් වූ ජාතික වැඩසටහනට සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, ආහාර හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඇතුළු අදාළ අමාත්‍යාංශ සියල්ලෙහි සහාය ලබාගැනේ.

දියවැඩියාවට ප්‍රධාන වශයෙන් ම බලපාන්නේ අධික ලෙස සීනි පරිභෝජනයයි. පැණි බීම, පැණිරස කෑම, පිෂ්ඨය තෙල් සහ සීනි අධික ක්ෂණික ආහාර බහුලව ගැනීම, සමබර ආහාරවේලක් නොගැනීම, ව්‍යායාම වලින් තොර වීම, අධික මානසික වෙහෙස (stress) යන කරුණු ද ඊට හේතු වී තිබේ.
ලංකාවේ සාමාන්‍ය වැඩිහිටියෙක් වසරක් තුළ සීනි කිලෝ 30ක් පරිභෝජනය කරයි. මෙය සාමාන්‍යයෙන් සීනි ලබා ගත යුතු ප්‍රමාණයට වඩා ඉතා විශාල අගයකි. සීනි හෙවත් සුක්රෝස්වලින් කැලරි හැරුණු විට මිනිස් සිරුරට අවශ්‍ය වෙනත් කිසිදු පෝෂ්‍ය පදාර්ථයක් නොලැබේ. අධික ලෙස සීනි භාවිතය මිනිස් සිරුරේ සෑම අවයවයකටම අහිතකර ලෙස බලපායි.
මොළයේ නිපදවෙන ඩෝපමීන් රසායනය මඟින් සීනිවලට ඇබ්බැහි වීමක් ඇති කෙරෙයි. එහෙයින් අධික ලෙස සීනි හෝ පිටි සහිත ආහාර ගන්නා ළමයි මෙන් ම වැඩිහිටියෝ ද දියවැඩියාවට පහසුවෙන් ගොදුරු වෙති.
ළමා කාලයේ අධි බරින් යුතු ළමයි, බෙල්ල වටා කළු පැහැ ගැන්වුණු සහ උදරය විශාල වූ ළමයි ඉක්මනින් ම දියවැඩියාවට ගොදුරු වෙති.
හෘදයාබාධ සඳහා බලපාන මූලික හේතුවක් වන්නේ දියවැඩියාවය. පාලනය නොකළ දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ රුධිරගත කොලොස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම් හෘදයාබාධවලට හේතු වේ. දියවැඩියාව, ගර්භාෂ පිළිකා, පියයුරු පිළිකා, පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා හා බඩවැල් ආශ්‍රිත පිළිකාවලට ද ප්‍රධාන හේතුවකි. ස්ථුලතාවය මේ රෝග සියල්ලෙහි පූර්ව ලක්ෂණයකි. සීනි පැණිරස වුවද එහි ප්‍රථිඵල පැණිරස නොවේ. ඉහත සඳහන් මාරක රෝග සියල්ලෙන් වැළකී සිටීමට ඇති හොඳම පිළියම සීනි භාවිතයෙන් වැළකී සිටීමයි. නැතිනම් සීනි භාවිතය හැකි තාක් අඩු කිරීමය. ලංකාවේ ජනතාව අධික ලෙස සීනි පරිභෝජනයෙන් වළක්වාලීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇතැයි ද වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද පවසයි.
සංග්‍රහ ප්‍රියසාද මෙන් ම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල තේ පානයේදී සීනි නොදමා අවශ්‍යතාව අනුව භාවිතා කළ හැකි පරිදි සීනි වෙනම පිළිගන්වන ලෙස වෛද්‍යවරු උපදෙස් දෙති. පැණි බීම වෙනුවට තිබහට හැම විටම දරුවන්ට පිරිසුදු වතුර බොන්නට හුරු කරන්න. සමබල ආහාර වේලක් මෙන් ම හැකි හැමවිටම නිවසේ පිළියෙළ කරගත් ආහාර පමණක් ළමයින්ට ලබා දෙන්න. ළමයින් දිනකට අවම වශයෙන් පැය එකක්වත් එළිමහනේ ක්‍රීඩා කළ යුතුය. ක්‍රීඩා කණ්ඩායම් ක්‍රීඩා කරන්නේ නම් වඩා සුදුසුය. වැඩිහිටියන් ඇවිදීම වැනි ව්‍යායාමයක විනාඩි 30වත් යෙදිය යුතුය.
දුම්වැටි මත්වතුර භාවිතය හෝ වෙනත් අහිතකර පුරුදුවලින් තොරවීම මෙන් ම ආතතිය පාලනය කරගැනීමෙන් දියවැඩියාවෙන් වැළකිය හැකි බවද වෛද්‍ය කටුුලන්ද පවසයි. ඉහත යෝජනා අනුගමනය කිරීම පිළිබඳ උපදෙස් සහිත චක්‍රලේඛ රජයේ ආයතන හා පාසල් වෙත යවන මෙන් සංගමය ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය ඇමැතිවරයා වෙත යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇතැයිද ඒ මහතා පවසයි.
“දියවැඩියාවෙන් තොර ශ්‍රී ලංකාවක්’ ගොඩනැඟීමේ ජාතික වැඩසටහනේ සභාපතිවරයා ලෙස කටයුතු කරනුෙය් කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව හා අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම් මහතාය. සිය වැඩසටහන හා මෙරට දියවැඩියා රෝගයේ වත්මන් තත්ත්වය පිළිබඳ ඒ මහතා සිළුමිණට මෙසේ අදහස් දැක්වීය.
“කොළඹ මහ රෝහලේ දියවැඩියා සායනයෙහි දිනකට රෝගීන් 400 ක් පමණ ප්‍රථිකාර ලබා ගන්නවා. කොළඹ හා තදාසන්න නාගරික ජනතාව අතරින් 20%ක් දියවැඩියාවෙන් පෙළෙනවා. 40%ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙන අතර 40%ක් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික රෝගීන්. 20%කට මේ රෝග තුනම තිබෙනවා. මෙම රෝගීන්ගෙන් 40%ක් පමණ තමාට දියවැඩියාව ඇති බව දැන සිටියේ නෑ. වෙනත් රෝග සඳහා රුධිර පරීක්ෂාවක් කරගත් විටයි ඔවුන් දියවැඩියාවෙන් පෙළෙන බව හඳුනා ගන්නේ.
දියවැඩියාව මුල් අවධියේ දී හඳුනාගෙන නිසි ලෙස බේත් ලබාගෙන, මනා ලෙස ආහාර පාලනය කරමින්, ව්‍යායාම සහිත දිවියක් ගත කළහොත් සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් දිගු කලක් වෙසෙන්නට පුළුවන්. රෝගය පාලනය නොකිරීමෙන් හෘදයාබාධ, පිළිකා, වකුගඩු රෝග, ඇස් අන්ධවීම මෙන් ම පාද කපා අයින් කිරීම වැනි බරපතළ සංකූලතා ඇති විය හැකිය. දියවැඩියාව හේතුවෙන් මොළයට සැපයෙන රුධිර නාලවල අවහිරතා ඇති වී අංශභාගය හෙවත් ආඝාතයට ගොදුරු වෙන්නට පුළුවන්. අක්මාවේ තෙල් තැන්පත් වීමට ද මෙය හේතු වන අතර පසු කලක එවැනි රෝගීන් සිරෝසිස් රෝගයට ගොදුරු වීමට ඉඩක් තිබෙනවා. ප්‍රතිකාර රුධිර පරීක්ෂණ හා උපදෙස් ලබා ගැනීමේ පහසුකම් සහිත දියවැඩියා සුවතා මධ්‍යස්ථානයක් ඇති කිරීමටත් දියවැඩියාවෙන් තොර “සුව ගම්මාන” රට පුරා ඇති කිරීමත් අපගේ මූලික අභිප්‍රායයි.
පාසල් දරුවන් හා රටේ යොවුන් පරපුර දියවැඩියාවෙන් වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න පාසල් තේරීමේ දීප ව්‍යාප්ත තරගයක් පැවැත්වීමට කටයුතු කරනවා. ඒ අනුව පාසල් සෞඛ්‍ය කව ශක්තිමත් කර පාසල් දරුවන් දියවැඩියාව හා අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් අධිකවීම, ස්ථුලතාව, මානසික ආතතිය ඇඳුම හා පිළිකා වැනි බෝ නොවෙන රෝගවලට ගොදුරු වීමේ අවදානම අවම කිරීමට අපි කටයුතු කරනවා. මේ සඳහා සෑම දිස්ත්‍රික්කයකම පාසල් ගුරුවරුන් දෙමව්පියන් හා දරුවන්ට විශේෂ පුහුණු වැඩසටහනක් 2016 වසරේදී ආරම්භ කරනවා. දියවැඩියාවෙන් පෙළෙන දරුවන්ට තමාගේ සෞඛ්‍ය යහපත් තත්ත්වයෙන් පවත්වාගෙන යන්නට අවශ්‍ය උපදෙස් හා පුහුණුව ලබා දීම සඳහා විශේෂ දියවැඩියා කඳවුරු දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
දියවැඩියාවෙන් පෙළෙන සෑම ළමයකුට ම රුධිරගත සීනි ප්‍රමාණය මැන බැලීමේ ග්ලූකෝ මීටරයක් නොමිලේ ලබා දීමට කටයුතු යොදනවා. ඉන්සියුලින් එන්නත් කළ යුතු ළමයින්ට ඒවා තනිව විද ගැනීමට පුහුණුව මෙන් ම අහිතකර ආහාර තෝරා බේරා ගෙන සුදුසු ආහාර රටාවකට යොමු වීමේ ක්‍රමවේද ඔවුන්ට කියා දීමටත් අප සූදානම්. මෙම කඳවුරු මාලාවේ ප්‍රථම කඳවුර 2016 පෙබරවාරි මාසයේ බදුල්ලේදීත් දෙවැන්න 2016 මාර්තු මාසයේ දී යාපනයේදීත් පැවැත්වෙනවා.
දියවැඩියාවෙන් තොර ජාතියක් බිහි කිරීම අරමුණු කොටගත් සෞඛ්‍යදායී ආහාර වට්ටෝරු තරගයක් දීප ව්‍යාප්තව පවත්වනවා. මෙම තරගය සියලුම සූපවේදීන් සඳහා විවෘත වන අතර ජයග්‍රාහක වට්ටෝරු ජාතික මට්ටමින් ජනතාවට නිර්දේශ කිරීම සඳහා කටයුතු යොදා තිබෙනවා.
අනාගත පරම්පරාව දියවැඩියාවෙන් බේරා ගැනීමට මෙවැනි ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක නොකළහොත් මුළු මහත් ජාතියම රෝගීන් බවට පත්වෙනු ඇත. රජය වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල මොනතරම් උත්සාහ දැරුවත් මෙම වැඩසටහන්වල සාර්ථකත්වය රඳා පවතින්නේ ඊට ලැබෙන ජනතා සහයෝගය මතයි. තමන් ගේ සෞඛ්‍ය රැක ගන්නට නොමිලේ ලබා දෙන මේ අවස්ථාවන් සහ සේවාවන් තුළින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස අප සංගමය ඉල්ලා සිටිනවා.
0 comments :
Post a Comment